නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස දිස්වා ආදීනවං ලෝකෙ - ඤත්වා ධර්මමං නිරූපධිං අරියො න රමති පාපෙ - පාපෙ න රමති සුචි සැදැහැවත් පින්වතුනි, ලෝකයේ ආදීනව පක්ෂය ගැන අවබෝධය ගැඹුරු වූ තරමට තමයි නෙක්ඛම්ම සංකල්පය මේරීමට පත්වෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය මෝරා ගිය ප්‍රමාණයටයි පැවිදි ජීවිතයක පරමාර්ථය මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ගිහි සැපයත් පැවිදි සැපයත් අතර වෙනස හරියාකාර තේරුම් නොගත්තොත් පැවිදි ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා අතීත ආචාර්යවරු පැවිදි අපේක්ෂකයකුගේ සිත ශක්තිමත් කරන්න නොයෙකුත් උපාය මාර්ග යෙදුවා. අද අපි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කථාවෙනුත් ඒකට නිදර්ශනයක් ලැබේවි. මහා කච්චාන මහ රහතන් වහන්සේ අවන්ති රටේ කුරරඝර කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලයේ සෝණ කුටිකණ්ණ කියන උපාසක මහත්මයෙක් උපස්ථායක හැටියට හිටියා. මේ සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයා ඒ කුරරඝර ප්‍රදේශයේ ඉතාමත්ම ධනවත් ශ්‍රද්ධාවන්ත කාලී කියන උපාසිකාවගේ පුතෙක්. එක දවසක් මේ සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයා විවේකීව භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ඇති වුනා. ‘මහා කච්චාන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන ආකාරයට මේ පිරිසිදු බ්‍රහ්මචර්යාව ගිහි ජීවිතයේදී ආරක්ෂාකර ගැනීම අපහසුයි. බොහොම අමාරුයි. ඒක නිසා මම මේ කෙස් රැවුල් ඉවත් කරලා කාෂාය වස්ත්‍රය ඇඳගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වෙන්ට ඕන.’ ඒ අදහස ඇති වුනාට පස්සේ ගිහිල්ලා කච්චාන ස්වාමීන් වහන්සේට තමන්ට මෙහෙම අදහසක් ඇතිවුනා කියලා ප්‍රකාශ කරලා “ස්වාමීනි මාව පැවිදි කරන්න” කියලා ඉල්ලා සිටියා. එතකොට මහ කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා “සෝණ, යාවජීව වශයෙන් දිවිහිම් කොට, එක ආහාර වේලකින් යැපෙමින් තනියහනේ නිදමින් ශාසන බ්‍රහ්මචර්යාව රැකීම දුෂ්කරයි. අමාරුයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට කාලානුරූපව, ඉඳලා හිටලා, පෙහෙවස් රැකීම් වශයෙන් උපෝසථ අට්ඨාංග ශීල රැකීම් වශයෙන් එක ආහාර වේලකින් යැපීමින් තනි යහනෙ නිදමින් ඒ විදියට ඒ ප්‍රතිපත්තිය ඒ බ්‍රහ්මචර්යා ක්‍රමය ආරක්ෂා කරන්න” කියලා. ඉතිං ඒක ඇහුවට පස්සේ අර සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයාට පැවිදිවීම පිළිබඳව තිබුණු උනන්දුව අඩු වුනා. නැවත ගිහිල්ලා නැවතත් භාවනා කරන අවස්ථාවේදී ආයිත් දැඩිව හිතට ආවා මේ ගිහි ජීවිතයෙ අමාරුයි පිරිසිදු බ්‍රහ්ම වර්යාව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා. නැවත වරක් ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අර වගේම අවසර ඉල්ලුවා. නමුත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයිමත් ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් කිව්වා මේ කටයුත්ත, මේක, දුෂ්කරයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉදගෙන ඔය විදියට යාවජීව නොවෙයි කාලානුරූපී බ්‍රහ්ම වර්යාව රකින්න උත්සාහවන්ත වෙන්න කියලා. ඉතිං ඒ අවස්ථාවෙත් ඒ අදහස යටපත් වෙලා නැවතත් ගිහිල්ලා තුන්වෙනි වරටත් භාවනාවේදී දැඩිව මේ සිතිවිල්ල ආවම ඇවිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ඉල්ලා හිටියා. අන්න ඒ අවස්ථාවේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහේ පැවිදි කළා. පැවිදි කරලා අවුරුදු තුනකට පස්සේ බොහොම අමාරුවෙන් උපසම්පදාව සඳහා සංඝයා වහන්සේලා දහ නමක් එහෙන් මෙහෙන් සොයා ගත්තා. මොකද හේතුව, අවන්ති රටේ සංඝයා වහන්සේලා බොහොම හිඟයි. ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි උපසම්පදාවට සංඝයා ගණපූරණය වශයෙන් දහ නමක් සොයාගෙන උපසම්පදාව දුන්නෙ. ඉතිං මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට උපසම්පදා වෙලා වස් කාලය ගත කලාට පස්සේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ආවා. භාග්‍යවතුන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, මෙන්න මේ මේ ස්වරූපයයි කියලා මා අහලා තියෙනවා මිසක් මට තාම සියසින් දකින්න බැරිවුණා. භාග්‍යවතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් මට බොහොම ලොකු දෙයක්. ඒක නිසා මගේ උපාධ්‍යායයන් වහන්සේ අවසර දෙතොත් බුදු පියාණන් වහන්සේ දකින්න වඩින්න ඕන කියලා චාරිකාවේ. ඊළඟට කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේට ඒ අදහස කියලා අවසර ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ ‘සාධු සාධු’ කියලා බොහොම සතුට ප්‍රකාශ කරලා “යන්න සෝණ. ගිහිල්ලා ඒ පහදවන සුළු ස්වරූපය ඇති, ඒ ශාන්ත දාන්ත වූ මනස ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්න. දැකලා මගේ වචනයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ සුවදුක් විමසලා වන්දනා කරන්න. මාගේ උපාධ්‍යායන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳිනවා කියලා” ඒ විදියට ආශීර්වාදාත්මකව ඒක අනුමත කලා. ඉතිං සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට වැඳලා පැදකුණ කරලා, සෙනසුන සකස් කරලා කියලා පාත්‍ර සිවුරු අරගෙන - දුර ගමනක් - අවන්ති රටේ ඉදලා ජේතවනාරාමය බලා පිටත් වුණා. ඉතිං අනුපිළිවෙළින්, ක්‍රම ක්‍රමයෙන්, එහෙම චාරිකාවේ වැඩම කරලා එක දවසක් දා ජේතවනාරාමයට පැමිණියා, පැමිණිලා බුදු පියාණන් වහන්සේ දැකලා අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්ව විදියටම වන්දනා කලා. භාග්‍යවතුන් වහන්සේත් අර සාමාන්‍යයෙන් සුපුරුදු ආකාරයටම ඒ විදියේ ආගන්තුක භික්ෂුවක් ආපුවම අහන සතුටු සාමීචි කථාවේ යෙදුනා “කොහොමද ඒ චාරිකාවේදී ගමනෙදී හොඳට පිණ්ඩපාතේ එහෙම ලැබුනාද? කරදර නැතුව සුවසේ ආවද?” කියලා. ඉතිං “එසේය ස්වාමීනි” කියලා කිව්වාට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා “ආනන්ද, මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනවන්න” කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ සිතුම් පැතුම් හරියට දන්න නිසා තේරුම් ගත්තා මේ විදියට විශේෂ කියමනක් කියන්නේ, සෙනසුනක් පනවන්න කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අවසර දෙන්නේ, තමන් වහන්සේගේම ගඳකිලියේ ඒ ගන්ධ කුටියේ ඒ භික්ෂුව රාත්‍රිය ගතකරනවා දකින්ට කැමති නිසා වෙන්ට ඕනෙ කියලා තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේම සෙනසුන පැනෙව්වා, මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට. ඉතිං ඊළඟට ඒදා රාත්‍රි වැඩි කාලයක්ම බුදු පියාණන් වහන්සේ එළිමහනෙහි භාවනානුයෝගීව වැඩ හිඳලා පා සොදගෙන කුටියට වැඩම කලා. සෝණ ස්වාමීන් වහන්සේත් එළිමහනේ රාත්‍රි වැඩි කාලයක් භාවනාවේ වැඩ හිඳලා සේනාසනයට ඇතුල් වුණා. ඊළඟට අපට අහන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ උදෑසන අළුයම් කාලේ අවදිවෙලා සෝණ ස්වාමීන් වහන්සේට කියනවා “භික්ෂුව ඔබට ධර්මයක් දේශනා කරන්න වැටහේවා!” කියලා. අන්න එතකොට සෝණ ස්වාමීන් වහන්සේ තමන්ට කට පාඩම් තිබුණු, දැන් මේ කාලේ සුත්‍ර නිපාත නමැති ධර්ම ග්‍රන්ථයේ අඩංගු වන ගාථාමය සුත්‍ර දහසයක් - ඒකට කියන්නෙ අට්ඨක වග්ගය - ‘අට්ඨක වග්ගය’ කියන පරිච්ඡේදයේ සඳහන් වන ගැඹුරු අර්ථවත් ගාථාමය සුත්‍ර දහසයක්ම කට පාඩමින් ඉතාම හොඳ ස්වරයෙන්, ඊට ගැලපෙන නිසි ස්වරයෙන් හොඳට ශබ්ද නගලා දේශනා කලා. ඒක අහලා භාග්‍යවතුන් වහන්සේ බොහොම සතුට ප්‍රකාශ කරලා “බොහොම හොදයි, භික්ෂුව, ඔබ නියම හොඳ ස්වරයෙන් ඉතාමත් පැහැදිලි, නිදොස්ව ගලායන, අර්ථය හෙළි කරවන අන්දමේ හොද ස්වරයකින් මේ සුත්‍ර ටික දේශනා කලා”. ඊළඟට බුදු පියාණන් වහන්සේ අහනව, “මහණ ඔබට වස් කීයද?” කියලා. එතකොට සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ කියනවා “ස්වාමීනි, මට එක වසයි තියෙන්නේ”. සංඝයා වහන්සේලාගේ ඒ වයස ගණින්නේ ගත කල වස් කාලය අනුවයි. ඉතිං “එක වසයි මට තියෙන්නේ” කියලා කිව්වා. උප සම්පදාවෙන් එක වසයි. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා “මොකක්ද මහණ මෙච්චරකල් කළේ?” කියලා. මෙච්චර කල් මොකද කළේ. එතකොට සෝණ, ස්වාමීන් වහන්සේ කියනවා “ස්වාමීනි මම මේ කාමයන්ගේ ආදීනව පක්ෂය නං දැක්කා. ඒ වුනත් ගිහි ජීවිතයේ නොයෙකුත් කම් කටොළු කරදර වැඩ කටයුතු නිසා මේ විදියට මගේ පැවිදි වීම පමා වුනා” කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකාව වශයෙන් ප්‍රකාශ කළ ගාථාව වදාළේ. ඒ ගාථාව ඇත්ත වශයෙන් අර උදාන පාළි කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙන්නෙම ප්‍රීති වාක්‍ය වලට මුල් තැන දෙන ආකාරයකින්. ඉතිං ඒ ප්‍රීති වාක්‍යයක් හැටියට බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තමයි අපි මුලදි කිව්වේ. දිස්වා ආදීනවං ලෝකෙ - ඤත්වා ධර්මමං නිරූපධිං අරියො න රමති පාපෙ - පාපෙ න රමති සුචි ලෝකයේ ආදීනව පක්ෂය දැකලා නිරූපධි නම් වූ සියලම උපධීන් අතහැරීම කියන නිවන, නිරූපධි නම් වූ නිර්වාණය දැනගෙන, නිර්වාණ ධාතුව දැනගෙන, ආර්ය පුද්ගලයා පාපයෙහි නො ඇලෙයි. පිරිසිදු තැනැත්තා පාපයෙහි නොඇලෙයි. කියන ඒ කෙටි අදහසයි එතන තියෙන්නේ. ඉතිං මේ සෝණ ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති සුත්‍ර පිටකයෙත් විනය පිටකයෙත් තව හුඟක් ඒ ඒ තැන්වල තියෙනවා. මෙතන අපි ප්‍රීති වාක්‍යයට මුල් තැන දීපු නිසයි මේ ටික කියවෙන්නේ. මේ ටික මුල් තැන තියාගෙන අපි අතිත් කරුණුත් අවස්ථානුකුලව එකතු කර ගනිමින් දැන් ඊළඟට මේක පිළිබඳ යම් කිසි විවරණයක් කරන්න බලමු. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ මේ කථාන්තරය තුළත් ගාථාව තුළත් ඇතුළත්වන වටිනා අදහස් ටික මතුකර ගැනීමයි. පළමුවෙන්ම අපි මේකට හිත යොදන කොට මේ පින්වතුන්ටත් සමහර විට සැක උපදින විදියේ කාරණාත් මෙතන තියෙන නිසා අපි ඒවා හෙළිවෙන ආකාරයට එකින් එක අරගෙන බලමු. දැන් මේ මහා කච්චාන කියන ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගෙන් ‘එතදග්ග’ කියන තනතුරත් සම්මාන වශයෙන් ලබාපු කෙනෙක්. මේ ‘එතදග්ග’ තනතුර කියලා කියන්නෙ පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චාරිත්‍රයක් තිබුණා - හැම බුදුවරුන්ගේම චාරිත්‍රයක් - තමන්ගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසෙහිම යම් යම් අංශ වලින් විශේෂ ශක්තීන් ඇති අය හඳුන්වා දෙනවා සංඝයා වහන්සේලාට ‘එතදග්ග - භික්ඛවේ මම සාවකානං’ ආදී වශයෙන්. මාගේ ශ්‍රාවකයින් අතර මෙන්න මොහු එහෙම නැත්නම් මැය අග්‍රයි, ප්‍රධානයි කියලා. ඊළඟට ඒ කාරණය සඳහන් වෙනවා. ඒ විදියට මහා කච්චාන ස්වාමීන් වහන්සේට ප්‍රධානත්වය, අග්‍රස්ථානය, ලැබුනේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ සුත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කිරීමේ දක්ෂ භික්ෂුන් වහන්සේලා අතරිනුයි. ඒ විශේෂ දක්ෂතාව මහා කච්වාන ස්වාමීන් වහන්සේ තුළ තිබුනා. අර්ථකථන වශයෙන්, බුදු පියාණන් වහන්සේ දේශනා කළ කෙටි කියමන, දීර්ඝ වශයෙන් විස්තර කිරීම. ඉතිං ඒ විදියේ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඊළඟට ඒ වගේම මේ කථාවේ කියවුනා අවන්ති රටේ භික්ෂු සංඝයා ඉතාම අඩුයි කියලා. ඉතිං එහෙම එකේදී අපට සමහර විට සැකයක් ඇතිවෙන්න පුළුවන්, මොකද මේ මහා කච්වාන ස්වාමීන් වහන්සේ අර සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහේ පැවිදි වෙන්න ඉල්ලුවහම දෙසැරයක්ම ඒක ප්‍රතික්ෂේප කලේ කියලා. අපි නං බලාපොරොත්තු වෙන්නේ - කියන්න තිබුණේ මේ විදියේ දෙයක් කියලයි. “අපේ ප්‍රදේශයේ සංඝ බලය බොහෝම අඩුයි. බොහොම හොඳයි, ඉක්මණට පැවිදි වෙන්න. තවත් පුළුවන් නම් දහ පහළොස් දෙනෙක් එකතු කරගෙන එන්න. අපිට පිරිකර සොයාගන්න පුළුවන්. හොඳ පැවිදි පින්කමක් පවත්වන්න පුළුවන්” කියලා ධෛර්යය කරනවා වෙනුවට මේ පැවිද්දේ දුෂ්කරතාව ප්‍රකාශ කලා. ඒ දුෂ්කරතාව ප්‍රකාශ කළ වචනත් ඉතාම වැදගත්. අපි මේ කාලෝචිත හැටියට හැඟෙන නිසයි මේ කාරණය මතු කරලා දෙන්නේ. එතන ඒ මහා කච්වාන ස්වාමීන් වහන්සේ පැවිද්දේ දුෂ්කරතාව පෙන්නුවේ මෙහෙමයි. ‘යාවජීව’ කියන වචනය සඳහන් වෙනවා. මේ පැවිද්ද කියන එක - ඒක අදහස - ‘යාවජීව’ දිවි හිම් කොට, දිවි ඇති තාක්, එක ආහාර වේලෙන් යැපෙමින් තනි යහනේ නිදමින් බ්‍රහ්ම වර්යාව රැකීම. ඒක අමාරු දෙයක්. එතකොට අපිට මෙයින් පේනවා ඒ කාලේ පැවිද්ද කියන එක ‘තාවකාලික’ සංකල්පයක් නෙවෙයි ‘යාවජීව’ සංකල්පයක් - මේක බොහොම බැරෑරුම් එකක් හැටියට. ඒක ලිහිල් කරගත යුතු දෙයක් නොවෙයි. දැඩි අධිෂ්ඨානයකින් ගතයුතු, ජීවිතය පිළිබඳ දැඩි තීරණාත්මක පියවරක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අභිනික්මන කියලා කියන්නේ, ආවට ගියාට කරන දෙයක් නොවෙයි. සතියක දෙකක නිවාඩුවකට ගිහිල්ලා එනව වගේ දෙයක් නොවෙයි. බුද්ධ කාලයේ පැවිද්ද කියන එක ගැඹුරු අදහසකින්, ගැඹුරු නෙක්ඛම්ම සංකල්පයකින් ගතයුතු තීරණාත්මක පියවරක් බවයි අපට මෙයින් පෙනෙන්නේ. ඒක නිසයි අර මහා කච්වාන ස්වාමීන් වහන්සේ ඒකට තාම සුදුසු කම, ඊට සැහෙන පමණ මේරීමක් අර උපාසක උන්නහේ තුළ නැති බව දන්න නිසයි දෙවරක්ම ප්‍රතික්ෂේප කලේ. නමුත් ඒ එක්කම ඒ වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයක් පෙන්නුවා. එහෙම නම් කරන්න තියෙන්නේ මොකක්ද? පැවිදි වෙන්න තරං යාවජීව වශයෙන් ඒ තරම් දැඩි කැපවීමකින් ඒ පියවර ගන්න ශක්තිය නැත්නම් කරන්න තියෙන්නේ, ගිහි ජීවිතයේම ඉදගෙන අර ‘කාලයුත්තං’ කාලානුරූපව, බ්‍රහ්ම වර්යාවට උත්සාහයක් වශයෙන්, ඉඳහිටලා, අර විදියට පෝය දිනක ආහාර වේලක් අතහැරලා, ඒ ගිහි සැපත අත හැරලා බ්‍රහ්මවර්යාව රැකීමයි. ඒ විකල්ප ක්‍රියා මාර්ගයත් මහා කච්වාන ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒ තුළින් අපට යම් අදහසක් ගන්න පුළුවන් අතීතයේ ඒ පැවිද්ද පිළිබඳව. අන්න පැවිදි අපේක්ෂකයකු ආව පමණින්, කිව්ව පමණින්, පිරිස් වැඩිකර ගන්න, ඒ විදියේ සංකල්පයකින් නොවෙයි පැවිදි කළේ. ඔලු ගෙඩි ගැනීමෙන් ශාසනයේ දියුණුව මනින්න බෑ. ඒක නිසා අර ටික දෙනා නමුත්, නියම ගැඹුරු අදහසකින්, අර කියාපු කැපවීමකින් යුක්තව පැවිදි ජීවිතයට අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න සුදානම් නම්, අන්න ඒ අවස්ථාවෙයි, එතකොටයි ඒ මේරූ අවස්ථාවෙයි, අවසර දෙන්නේ. ඒක නිසා තමයි අර තුන් වරක්. තුන්වෙනි වර කළ ඉල්ලීම අනුවයි මහා කච්වාන ස්වාමීන් වහන්සේ අවසර දුන්නේ. ඒයින් පේනවා හිත ඇතුළේ නෙක්ඛම්ම සංකල්පය මෝරන්න සැලැස්සුව. දැන් වුනත් සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් තුන් වරක් පැවිද්ද ඉල්ලනවා. නමුත් එක පිට එකවරට කියාගෙන කියාගෙන යනවා. නමුත් මේකෙ ගැඹුරු අදහස මොකක්ද? පළමුවෙනි වර කිව්වා, සමහර විට හිත වෙනස් උණා නම්, ඒක එතනින් නතර කරනවා. ඒක නං දැන් චාරිත්‍රයක් බවට හැරිලා. නමුත් දැන් මෙතන ඔන්න හොඳටම පේනවා. පළමුවෙනි වර ඇවිල්ලා කිව්වා හරවලා යැව්වා. දෙවෙනි වර ඉල්ලා හිටියා. ඒත් හරවලා යැව්වා. තුන්වෙනි වර ඉල්ලා හිටියාම, දැන් ඉතිං මේ තරම් තුන් සැරයක් ඉල්ලන්නේ යම්කිසි ගැඹුරු අදහසකින් කියලා ඔන්න අවසර දුන්නා. ඔයින් අපට පේනවා එතකොට මේ පැවිදි කිරීම, පැවිද්දේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයටයි අතීතයේ ආචාර්යවරුන් තමන්ගේ පැවිදි අපේක්ෂකයින් හැසිරෙව්වේ. ඉතිං ඒ වගේම සෝණ ස්වාමීන් වහන්සේට ඒ ප්‍රතිපත්ති රකින්න අමාරු වෙන්න ඇත්තේ සමහර විට - මහ ධනවත් පවුලක උපාසක කෙනෙක්. ඒ වගේම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු ආදී දේවල් තියෙන්න ඇති. ඒ හැම එකක්ම නිසා තමයි මහා කච්වාන ස්වාමීන් වහන්සේ මුලදි අවසර නොදී පසුව අර හිත තුළ ඒක මෝරා ගියාට පස්සේ අවසර දුන්නේ. එතකොට ඒ කාරණය එහෙමයි. රීළහට අපි තව පැත්තක් බලමු. මේ සෝණ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කලාට පස්සේ බුදු පියාණන් වහන්සේ විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මොකක්ද වරප්‍රසාදය? තමන් වහන්සේගේම කුටියේ රැය ගත කරන්න අවසර දුන්නා. ඒක ඉතාම දූර්ලභ වරප්‍රසාදයක් සාමාන්‍ය ශ්‍රාවකයකුට බුදු රජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ රැයක් ගත කරන්න ලැබීම. ඒකට හේතුව මොකද කියන එකත් අපි හිතලා බලන්ට ඕන. මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දැන් අර මහා කච්වාන ස්වාමීන් වහන්සේ අර තත්ත්වය ලැබූවේ, අර අපි කිව්ව එතදග්ග තනතුර ලැබූවේ, පදුමුත්තර බුදු පියාණන් වහන්සේ වෙතිත් ඊට නියත විවරණය ලැබූව නිසා ගෞතම බුද්ධ ශාසනයේ කෙටියෙන් දේශනා කළ සුත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කරන සංඝයා වහන්සේලා අතුරෙන් අග්‍ර තනතුර ලබනවා කියලා. ඒ වගේම සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් සඳහන් වෙන්නේ පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලබා ගත්තු කෙනෙක් කියල යම් කිසි විශේෂ කාරණයක් සම්බන්ධයෙන්. මොකක්ද ඒ? එතන සඳහන් වෙන්නේ ‘කල්‍යාණවාක්කරණානං’ - කල්‍යාණවාක්කරණ කියලා කියන්නේ යහපත් වාග් විලාසය ඇති. යහපත් වාග්විලාසය ඇතිව ධර්මය දේශනා කරන්න පුළුවන් සංඝයා වහන්සේලා අතර අග්‍ර තනතුරයි සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට ලැබුනේ. දැන් මේ පුංචි කතන්තරයේ නොකිවුවත් විනය පිටකය ආදී ඒ තැන්වල සඳහන් වෙනවා, ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ අනුමෝදන් වුනා පමණක් නොවෙයි සතුට ප්‍රකාශ කලා පමණක් නොවෙයි, සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේගේ දේශනාවට. ඒ කියන්නේ එතන සඳහන් වෙන්නේ ‘සරභඤඤ’ දේශනාවට. ‘සරභඤඤ’ දේශනාව කියලා කියන්නෙ හොඳ ගැලපෙන ස්වරයෙන්, මට සිලිටි ස්වරයෙන්, අර්ථය පැහැදිලි වෙන ආකාරයට නිදොස්ව ගලායන අන්දමින්, ඒ ධර්මය දේශනා කළ දක්ෂතාව. ඒ නිසා ‘කල්‍යාණ වාක්කරණ’ - යහපත් වාග් විලාසය ඇති - භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර තනතුර බුදු පියාණන් වහන්සේ මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට දුන්නා. ඒ සම්මානය දුන්නා. එතකොට අන්න එයින් අපට හිතාගන්න පුළුවන් අර වරප්‍රසාදය, විශේෂ වරප්‍රසාදය ලැබුනේ, බුදු පියාණන් වහන්සේට ඕනෑකම තිබුණ මේ ගෝලයාගෙන් පාඩම් ගන්ට. උදෑසනම හරියට පාඩම් අරගෙන ඉවරවෙලයි සම්මානය දුන්නේ. ඉතිං ඒකට ඉඩ සැලැස්සීම වශයෙනුයි - අපිට හිතාගන්න තියෙන්නේ - බුදු පියාණන් වහන්සේ රාත්‍රිය ගත කරන්න ඒ සෝණ කුටිකණ්ණ ආගන්තුක ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ. ඒ වගේම අපට පේනවා එහෙම ඉඩ සලසා දුන්නේ ඒ සෝණ ස්වාමීන් වහන්සේ එක්ක රට තොට විස්තර කථා කර කර ඉන්න නෙවෙයි. ඒක අපට පැහැදිලි වෙනනේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ වැඩි කාලයක් එළිමහනේ භාවනාවේ වැඩ හුන්න. ඒ ආගන්තුක සෝණ ස්වාමීන් වහන්සේත් රාත්‍රියේ වැඩි කාලයක් එළිමහනෙ භාවනාවේ වැඩ හුන්නා. ඇවිල්ලා මධ්‍යම යාමයේ පමණයි සැතපුනේ. අන්න එයින් පේනවා එතකොට ඒ ආගන්තුක වුනු පමණට රට තොට කථා කර කර ඉන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂුවට අර විදියේ වරප්‍රසාදයක් දුන්නේ. උදෑසන නැගිටලා පාඩම් අරගෙන සුදුස්සට සුදුසු තැන දීමටයි. අන්න ඒ විදියට අපට ඒ කාරණයත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ එක්කම කියයුතු දෙයක් තමයි දැන් මේ සෝණ ස්වාමීන් වහන්සේගේ යහපත් වාග් විලාසය ගැන සූත්‍රයේ සඳහන් වෙන්නෙ මේ විදියටයි. ‘කල්‍යාණියා’ කල්‍යාණ කියන ඒ ප්‍රධාන වචනය සඳහන් වෙනවා එතන. යහපත් වචනයෙන්. විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා කියන වචන සඳහන් වෙනවා. ඒ කියන්නෙ, ‘විස්සට්ඨ’ හොඳට පැහැදිලි වචනෙන්. වචන හොඳට පැහැදිලි, නිදොස්ව ගලායන ඒ වගේම අර්ථය හඟවන, අර්ථය තේරුම් කරවන, අර්ථය හෙළි කරවන අන්දමිනුයි දේශනා කලේ. ඒ දේශනා ක්‍රමය ධර්මයේ හඳුන්වන්නෙ සරභඤ්ඤ කියලා. සරභඤ්ඤ දේශනා ක්‍රමය. නමුත් මතක් කළ යුතු කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ දක්වලා තියෙනවා ගීත ස්වරයෙන් ධර්මය දේශනා කිරීම ඇවැතක් හැටියට, වැරද්දක් හැටියට. ගීත ස්වරයෙන් - ඒ කියන්නෙ ඇදලා පැදලා ගීත ස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතු බව බුදු පියාණන් වහන්සේ විනය නීතියකින් පනවා වදාරලා ඒකේ ආදීනවත් පෙන්නුම් කරලා තියෙනවා. අනිෂ්ට විපාක. මොනවද අනිෂ්ට විපාක? පහක් හැටියට දක්වලා තියෙනවා. ‘මහණෙනි ඇදලා පැදලා ගීත ස්වරයෙන් ධර්මය දේශනා කිරීමෙන් මෙන්න මේ ආදීනව පහ තිබෙනවා. පළමුවෙනි ආදීනවය මොකක්ද? තමාමත් තමන්ගේ ඒ ස්වරයෙහි ඇලෙනවා. දේශකයාත් තමන්ගේ ගීත ස්වරයේ ඇලෙනවා. අනුනුත් ඒ ගීත ස්වරයේ ඇලෙනවා. අසන අයත් ඒ ගීත ස්වරයේ ඇලෙනවා. තුන්වෙනි කාරණය, තුන්වෙනි අනිෂ්ට විපාකය මොකක්ද? ගිහියන් අතර විචේනයක් ඇතිවෙනවා, හරියට අපි සංගීත පවත්වන්නා වගේ, ගීත ගායනා කරන්නා වගේ, ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයනුත් ගීත ගයනවා කියලා. හතරවෙනි කාරණය, අර සංගීතයේ, එහෙම නැතිනම් ගීතයේ, ගීත ස්වරයේ රටාවට ඕනෑවට වඩා සිත යැදීමෙන්, ඒකට ඇලුම් කිරීමෙන් සමාධිය බිඳෙනවා. යම් සමාධියක් හදාගෙන ආව නම් ඒක බිඳෙනවා අර ගීත ස්වරයට සිත යාමෙන්. පස්වෙනි කාරණය, අනාගත පරම්පරාව - ඒකට ’පශ්චිමා ජනතා’ කියන වචනය යොදනවා, පසුවට එන්න ඉන්න අය, අනාගත පරම්පරාව - වැරදි ආදර්ශයක් ඒයින් ලබාගෙන තමන් දුටු දේ අනුව මේක තමයි හරි වැඩේ කියලා ඒක අනුගමනය කරනවා, අනුකරණය කරනවා. අන්න වැරදි ආදර්ශයක් අනාගත පරම්පරාවට දීමක් වෙනවා. ඔන්න ඔය කාරණා නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ගීත ස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම අපි මේ සඳහන් කළ අට්ඨකවග්ගයේ තියන ඒ සූත්‍ර ගාථාමය සූත්‍ර. නමුත් ගාථාමය සූත්‍ර වුනාට ඒවා සංගීත හැටියට නොවෙයි අර සෝණ ස්වාමීන් වහන්සේ දේශනා කලේ. ඒ එක් එක් වචනය හරියට පැහැදිලිව උච්චාරණය කරමින් මට සිලිටී අන්දමින් ඊට ගැලපෙන ආකාරයෙනුයි. දැන් අපි දන්නවා හරියට අර්ථය ආරක්ෂා වෙන්න නම් - දැන් ධර්මය ගැන සඳහන් වෙන්නේ ‘සත්‍ථං සබ්‍යඤ්ජනං’ - බුදු පියාණන් වහන්සේගේ ධර්මය පවත්වාගන්න පුළුවන් වෙන්නෙ අර්ථ පක්ෂයත් ව්‍යඤ්ජන පක්ෂයත් දෙකම සැළකිල්ල යෙදුවොත් තමයි. අර්ථය කියලා කියන එක මේ පින්වතුන් දන්නවා, තේරුම බව. ව්‍යඤ්ජන කියලා කියන්නෙ මේ පින්වතුන් හිතන එක නෙවෙයි. ව්‍යඤ්ජන කියලා කියන්නෙ අකුරු. දැන් යම් කිසි දේශනාවක අර්ථ කියලා පැත්තක් තියෙනවා. ඊළඟට අකුරු - ඒකට අදාළ අකුරු පද ගැලපීම ආදිය. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා වැරදි විදියට අකුරු යෙදුවොත් අර්ථයත් විකෘත වෙනවා. ඒක නිසා දැන් සිංහල භාෂාවේ අපි හිතමු බොහෝ දෙනා ඔය ව්‍යාකරණ කාරයින් එහෙම පෙන්නුම් කරන නිදර්ශනයක් - ‘බෙනේක නයෙක්’ කියනවා වෙනුවට ‘බෙනේ කනයෙක්’ කිව්වොත් එතන අර්ථ දෙකක්. ඒ විදියට අර වචන, පද බෙදීම් ආදිය වරද්ද ගත්තොත් ඔන්න අර්ථයත් විකෘත වෙනවා. ඉතිං මේ අවුරුදු දාස් ගණනක් තිස්සේ බුද්ධ වචනය රැකගෙන ඒමට අත්‍යාවශ්‍ය දෙයක් තමයි අර්ථ පක්ෂයත් ව්‍යඤ්ජන පක්ෂයත් දෙකම රැකගැනීම. අර ගීත ස්වරයට ඉඩ දුන්නොත් වෙන්නෙ මොකක්ද? අර්ථය මැකිලා යනවා. අර්ථය මැකිලා යනවා සංගීතය පමණක් ඉතිරි වෙනවා. අන්තිමට ස්වර ටික විතරයි ඉතිරි වෙන්නේ. මුළු මහත් ධර්මයේම ස්වර ගොඩක්, එහෙම නැත්නම් හොඳ තාල ගොඩක් පමණක් ඉතිරි වෙනවා. නමුත් අතීතයේ නම් ඒ අර ගාථා ධර්ම පවා - දැන් මෙතන ගැඹුරු ගාථාමය සූත්‍ර රාශියක්. නමුත් ඒවා, අපිට හිතාගන්න පුළුවන්, සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ හොඳට උච්චාරණය කරන්න ඇති, ඒ පද හොඳට බෙදලා. දැන් පාලි භාෂාවේ නම් අල්පප්‍රාණ මහප්‍රාණ හේදයකුත් තියෙනවා. අල්පප්‍රාණ මහප්‍රාණ හේදයක්. ඉතිං සමහර විට මහප්‍රාණ ඇති වචනය අල්පප්‍රාණ කරලා කීවොත් එකෙ වෙන අර්ථයක්. ඒ වගේම වචන හරියාකාරව බෙදලා, අර වගේ පටලවා ගන්නෙ නැතුව. ඉතිං ගීත ස්වරයටම ඉඩ නොදී ‘සරභඤඤ’ කියලා කියන්නේ අන්න අර්ථයත් රැකෙන ආකාරයට, අර්ථය උද්දීපනය වෙන ආකාරයට, අර්ථය මතු කරදීමයි මේ. දැන් ගද්‍ය පද්‍ය කියන දෙක අතරේ යම් කිසි වෙනසක් තියෙන බව අපි දන්නවා. ගද්‍යයත්, පද්‍යයත් අතර වෙනසක් තිබෙනවා. නමුත් පද්‍යයේ අදහස මොකක්ද? එතන තියෙන තාලය, වෘත්තය උපකාර කර ගන්නවා අර්ථය උද්දීපනය කරන්ට. අර්ථය වඩාත් ප්‍රකට කරන්න. වඩාත් හිතට කාවද්දන්න. ඒ මිසක් අර්ථය මකා දාන්ට නොවෙයි. නමුත් සංගීතයට ඉඩ දුන්නොත් වෙන්නෙ කල්යාමේදී මොනවා කියනවාද දන්නෙ නෑ. අර සද්දෙට දේශකයත් ඇලෙනවා. ශ්‍රාවකයත් ඒකට ඇලෙනවා. අන්තිමට ඉතිරි වෙන්නෙ අර තිරිසනුන්ටත් අයිති ශබ්ද රසය විතරයි. ඉතිං ඔන්න ඕකයි ධර්මය ගැන කියනවා නම්. මේ පින්වතුනුත් ධර්ම රත්නය ගැන කථා කරනවා, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා. බණ පොතට වඳිනවා. ධර්ම දේශකයාට ලොකු ආසනයක් දෙනවා. මේ ඔක්කොම කරන්නෙ මොකද? අපට ධර්මය රැකගන්න ඕන. ධර්මයටයි බුදු පියාණන් වහන්සේ ගරු කලේ. බුදු වුනාට පස්සේ “මම කාටද ගරු කරන්නේ” කියලා කල්පනා කරලා බැලුවා. “කවුරුවත් නෑ මේ ලෝකේ මගෙන් ගෞරව ලබන්න.” අතීතයේ බුදුවරු කලේ මොකක්ද කියලා ඊළඟට අතීත බුද්ධ චාරිත්‍රය බැලුවා. ඒ හැම තථාගතයන් වහන්සේ කෙනෙක්ම කලේ ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින් වැඩ විසීම. ඉතිං අන්න ඒක නිසා තමයි මේ ශාසනයේ ධර්ම ගෞරවය පුද්ගල ගෞරවයට වැඩිය ලොකුයි කියන්නේ. ඉතිං ධර්ම ගෞරවය ඒ තරං වටිනා දෙයක් නම් ඔන්න ඔය කාරණයත් වැදගත් දෙයක් වෙනවා, ධර්මය ආරක්ෂා කර ගැනීමට. දැන් මේ කාලේ පත්පොත බහුල කාලේ, සමහර විට අපට ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි පොතක් පතක් ලියන කොට එකේ ශෝධ්‍යපත්‍ර කීප වරක්ම බලන්න වෙනවා. නමුත් අර හාණක පරම්පරා වශයෙන් කට වචනයෙන් මේක පවත්වාගෙන ආපු කාලෙ උන්වහන්සේලාට අන්න අර කියාපු ආකාරයට අර්ථයත් වචනයත් ඒ දෙකම රැකගන්ට - ‘සාඨං සව්‍යඤ්ජනං’ - අර්ථයත් ව්‍යඤ්ජනයත් කියන ඒ දෙපක්ෂයම රැකගෙන මේ ධර්මය පවත්වාගෙන එන්ට සිද්ධ වුනා. ඉතිං දැන් මෙතන හරියටම ගැලපිලා ඇවිල්ලා තියෙනවා, පුදුම අන්දමට. පාරමී ධර්ම ගැන හිතනකොට අපිට හිතාගන්න පුළුවන්, අර පදුමුත්තර බුදු රජාණන් වහන්සේ වෙතින් නියත විවරණය ලබා ගත්තා මහා කච්වාන මහ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මය සවිස්තරව දේශනා කිරීමේ දක්ෂයා හැටියට, ඉතාමත්ම දක්ෂ කෙනා හැටියට. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේම ගෝලයෙක් තමයි මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ. ඒත් පදුමුත්තර බුදු රජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තා අර ධර්මය හරියාකාරව උච්චාරණය කරලා, යහපත් වාග් විලාශයකින් ඉදිරිපත් කිරීමට. ඒ දෙක හරියට ගැලපෙනවා. ඉතිං එහෙම පරම්පරාවලින් පවත්වාගෙන ආපු ධර්මයක් තමයි අපට තියෙන්නේ. ඒවායෙත් යම් යම් අඩුපාඩු කම් තියෙන්ට පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි රැකගන්ට උත්සාහ කරන්න ඕන අන්න අර කියාපු විදියට ගීත ස්වරයට තැන දෙන්නෙ නැතුව ‘සරභඤඤ’ ක්‍රමයට. ඒක ටිකක් තේරුම් කර ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකෙ ලක්ෂණ හැටියට තියෙන්නෙ වචන හරියට පැහැදිලිව, නිදොස්ව ගලායන අන්දමින් තියෙන්ට ඕන. රීළහට අර්ථය පැහැදිලි වෙන ආකාරයට. සමහර විට ඔය දැන් පිරිත් සූත්‍ර ආදි දේශනාවේදී සජ්ඣායනා ආදියේදී සමහරු දන්නෙත් නෑ මොකක්ද කියන්නෙ කියලා. හොඳ තාල මට්ටමක් යනවා. ඒ රටාව චිතරයි පිරිත් හැටියට අන්තිමට ඉතිරි වෙන්නෙ. නමුත් අර ගැඹුරු අර්ථ ඇති ඒ පිරිත්. අපි පිරිත් දේශනා කියලා කියන්නෙත් බුද්ධ වචනය, ධර්මය. පිරිත් පොතට ඇතුළත් වුණු පමණින්, ඒක සක්ඛායනා කිරීමට කිවු පමණට ඒක සිංදුවක් නොවෙයි. ඒ තුළ ගැඹුරු ධර්මයක් තියෙන්නෙ. කරණීය සූත්‍රය ගැන හිතලා බැලුවොත්, රතන සූත්‍රය ගැන හිතලා බැලුවොත්, මහා මංගල සූත්‍රය ගැන හිතලා බැලුවොත්, ඒ හැම එකකම එක එක ගාථාවක, එක එක වචනයක මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් ඒ වචනවල අර්ථය ගැන නොසලකා ඒක සක්ඛායනා වෙයි කිව්ව පමණට අපි ඒක සංගීතයක් කර ගත්තොත්, අන්න එතකොට ධර්ම රත්නයට එතන නිග්‍රහයක් වගේ දෙයක් වෙනවා. ඉතිං මේ කාරණාත් අපට කාලෝචිතව මතක් කරලා දෙන්ට සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ ගාථාවෙන් කියවෙච්ච කාරණයට හිත යොදලා බලමු. මොකක්ද ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ? මේ ලෝකයේ ආදීනව පක්ෂය. ඔන්න දැන් ටිකක් ගැඹුරු හරියටයි එන්නේ. දැන් අර සෝණ ස්වාමීන් වහන්සේ අර විදියට සරභඤඤ ක්‍රමයට ඒ ධර්මය දේශනා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා ඉවරවෙලා ඇහුවනෙ ප්‍රශ්නයක් “වස් කීයද?” කියලා. ඉතිං වස් ගණන කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. අන්න ඒ ප්‍රශ්නය මේ පින්වතුන්ටත් තම තමන්ගෙන් අහන්න තරං වටින ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නය? “මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ?” මොකද ඒකෙ තේරුම? මේ ගිහි ජීවිතයේ මෙච්චර ආදීනව දැක දැකත් මොකද මහණ නුනේ? මොකද මේ පියවර ගත්තෙ නැත්තේ? ඒ අවස්ථාවේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට දොස් කිව්වේ නෑ. “මම පැවිද්ද ඉල්ල හිටියා. මට පැවිද්ද දුන්නෙ නෑ.” ඒවා කිව්වේ නෑ. තමන්ගේ බැරිකම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මම දැක්කා මේ කාමයන්ගේ ආදීනව. දැක්කට මොකද, මේ ගිහි ජීවිතයේ තියෙන වැඩ කට්ටලය නිසා මට මේක පමා වුනා” කියලා උත්තර දුන්නා. සමහර විට මේ පින්වතුන්ටත් එහෙම කියන්න වෙන්න පුළුවන්. කොයි හැටි හෝ වේවා! දැන් අපි ඊළඟට මතු කරන්නේ අන්න අර කාමයන්ගේ ආදීනව පිළිබදව බුදු පියාණන් වහන්සේ ඒ ඒ තැන්වල දේශනා කළ කාරණා කීපයක්. ඒක ගැන අමුත්තක් හිතන්න නරකයි. ඇතැම් කෙනෙක් කල්පනා කරනවා ගිහි පින්වතුන්ට මේ කාමයන්ගේ ආදීනව ගැන කියන එක ගැලපෙන්නෙ නෑ. ඒක කියන්න ඕනෙ සංඝයා වහන්සේලාටයි කියලා. නමුත් සංඝයා වහන්සේලා කියලා කියන්නේ අර අහසින් වැටුනු අය නොවෙයි. අර සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහෙ වගේ ඉදලා තමයි අන්තිමට සෝණ කුටිකණ්ණ මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුනෙ. ඒක නිසා මේ පින්වතුන්ටත් ඒක උපකාර වෙන්න පුළුවන්. ඉතිං අපට කියන්න තියෙන්නෙ අන්න ඒ ආදීනව පක්ෂය ගැන කියන කොට, මේ පින්වතුන් සමහර විට අහලා ඇති වටිනා උපමා කථා බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා පෝතලිය ගෘහපතියාට. පෝතලිය සූත්‍ර නමින් දැක්වෙන ධර්ම කොට්ඨාශයක සඳහන් වෙන්නේ. පෝතලිය කියන ගෘහපතිය එක්තරා අවස්ථාවකදී තමන්ගේ සියලු ධනය දූ දරුවන්ට පවරලා දීලා, ඒ වැඩ කටයුතු, ව්‍යාපාරික කටයුතු යම් දේවල් තිබුණ නම් ඒවා ඔක්කොම අතහැරලා දාපු අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා. බුදු පියාණන් වහන්සේ විවේකීව වැඩ සිටින ස්ථානයකට, ගහක් යටට ආවහම බුදු පියාණන් වහන්සේ මේ ගහපතියාට ‘ගෘහපතියා’ කියලා ආමන්ත්‍රණය කලා. ඒකට හිත නරක් උණා. බලාපොරොත්තු වුනේ තමන් මේවා අතහැරලා තියෙන නිසා ඊට වඩා වටිනා වචනයක් කියයි කියලා. ගිහියෙක් හැටියට ගණන් ගන්නේ නෑ, කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ‘ගෘහ පතියා’ කියලා ආමන්ත්‍රණය කරලා. ඒකට තරහ ගියාට පස්සේ, අමනාප වුනාට පස්සේ, ඔන්න බුදු පියාණන් වහන්සේ දැක්වුවා හරියාකාරවම ඒ ගිහි ජීවිතය පිළිබඳ පටලැවිලිවලින් හිත මෑත් කර ගන්න නම්, මෙන්න මේ මේ කාරණා වලට සිත යෙදිය යුතුයි කියලා. ඒ අතර තමයි මෙන්න මේ උපමා හත තියෙන්නේ. අපි එක එකක් ගනිමු. කාමයන්ගේ ආදීනව පක්ෂය, ආදීනව කියල කියන අනිෂ්ට විපාක පක්ෂය ප්‍රකාශ කිරීමට බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා. පළමුවෙනි උපමාව - ඇට කැබැල්ලේ උපමාව. කතන්දරය කෙටියෙන් නමුත් අහලත් ඇති මේ පින්වතුන්. බුදු පියාණන් වහන්සේ මේ විදියටයි ඒක විස්තර කරන්නේ. ‘ගෘහපතිය, ඔන්න දැන් ගවයින් මරණ මඩුවක් ළහට ඇවිල්ලා බලාගෙන ඉන්නවා, ඉතාමත්ම බඩගිනි, කුසගිනි, ඇති බල්ලෙක්. බොහොම දුක්බිත පීඩිත බල්ලෙක් බලාගෙන ඉන්නවා. අර ගවයින් මරන්නා හෝ ඒ අතවැස්සා හෝ ඇට කැබැල්ලක් - ඒකේ තිබුණු මස් ඔක්කොම සුරලා දාලා, යම්තම් ලේ වැකිලා තියෙන එකක් - අර බල්ලා දිහාවට විසි කරනවා. අර බල්ලා ඒක හප හප ඉන්නවා. මොකද ගෘහපතිය, හිතන්නේ අර බල්ලාගේ, අර සුනඛයාගේ, ඒ කුසගින්න එයින් සන්සිඳේද? ’නැත ස්වාමීනි අන්තිමට වෙහෙසට පත් වෙනවා විතරයි’ අන්න ඒ වගෙයි, මතක තියාගන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාමයන් කියන ජාතිය ඇට කැබැල්ලකට උපමා කරලා තියෙනවා. මස් නැති, ලේ වැකුණු, යන්තම් ලේ වැකුණු ඇට කැබැල්ලකට උපමා කරලා තියෙනවා බොහෝ දුක් ආයාස කරදර ඇති දෙයක් කියලා. අන්න ඒ උපමාව බුදු පියාණන් වහන්සේ එතන වදාළා. ඊළඟට දක්වන උපමාව - එසේම ගහපතිය, ගිජු ලිහිණියෙක් හරි, කපුටෙක් හරි, උකුස්සෙක් හරි, මස් කැබැල්ලක් අරගෙන අහසට නගිනවා. ඕක දැකලා ගිජු ලිහිණි රැලක් හෝ කපුටු රැලක් හෝ උකුරස්සන් රැලක් හෝ අර සතා පිටිපස්සේ ලුහුබඳිනවා. ඉතිං ගෘහපතිය, ඔය අවස්ථාවේ අර ඒ ගිජු ලිහිණියා හෝ කපුටා හෝ උකුස්සා හෝ ඒ මස් කැබැල්ල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතුන් ඇනලා එක්කො මරණයට පත්වෙනවා. මරණය හා සමාන දුකකට හෝ පත්වෙනවා. අන්න ඒ විදියට මස් පිඬට උපමා කරලා තියෙනවා කාමයන් කියලා බුදු පියාණන් වහන්සේ ඒ උපමාව ආශයෙන් ඔන්න ඊළඟට කාරණය දක්වා වදාළා. මාංශ පේශියකට, මස් පිඩකට මේ කාමයන් උපමා කරලා තියෙනවා කියලා. ඊළඟට දක්වනවා තුන්වෙනි උපමාව. ඔන්න ගහපතිය, යම් කිසි කෙනෙක් දැල්වෙන තණ හුලක් අරගෙන උඩු සුළඟ පැත්තට යනවා. එතකොට අර සුළඟින් ඒ දැල්වෙන තණ හුල දැවීගෙන දැවීගෙන ගිහිල්ලා අර පුද්ගලයා ඒක අත හැරියේ නැත්නම්, අර තණහුල නියම වෙලාවට අත හැරියේ නැත්නම්, අර පුද්ගලයාට මොකද වෙන්නේ? අත හෝ බාහුව හෝ දැවිලා එහෙම නැත්නම් වෙන අඟ පසඟත් දැවිලා එක්කො මරණයට පත් වෙනවා, නැත්නම් මරණය හා සමාන දුකකට පත් වෙනවා. අන්න ඒ විදියට තණහුලට උපමා කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයන් කියල ඒ තුන්වෙනි උපමාව දෙනවා. ඊළඟට උපමාව දෙනවා - හතරවෙනි උපමාව. ඔන්න යම් තැනක තියෙනවා මිනිසකුගේ උහටත් වැඩිය ගැඹුරට හාරපු අඟුරු වලක්. එහෙම පිටින්ම දැවෙන මහා අඟුරු වලක්. ඔය අඟුරු වලක් තියෙන තැනකට එනවා, ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති මනුෂ්‍යයෙක් - අසරණ මනුෂ්‍යයෙක් එනවා, ඔය තැනට. හොඳට හයිය ශක්තිය ඇති ශක්තිමත් දෙන්නෙක් අර පුද්ගලයාගේ අත දෙකෙන් ඇදගෙන යනවා අඟුරු වල දිහාවට. ඒ වෙලාවට මොකද අර පුද්ගලයා කරන්නෙ? අර අසරණ මනුෂ්‍යයා ඒ අතට මේ අතට ඇඹරෙනවා. මොකද එහෙම ඇඹරෙන්නේ? ඔන්න ඊළඟට පෝතලිය ගෘහපතියා කියනවා ‘භාග්‍යවතුන් වහන්ස, ඒ පුද්ගලයා දන්නවා මේකට වැටුනොත් එක්කො මරණය එහෙම නැත්නම් මරණය හා සමාන දුකකට පත්වෙනවා කියලා’. අන්න ඒ විදියට හිතාගන්න කියලා පෝතලිය ගෘහපතියාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ විසින් අඟුරු වලකට උපමා කරලා තියෙනවායි මේ කාමයන් කියලා. ඊළඟට ඔන්න පස්වෙනි උපමාව දෙනවා. කෙනෙක් රාත්‍රියේ හොඳ හීනයක් දකිනවා. ඉතාමත්ම රමණීය උයන් වතු, රමණීය භූමිභාග, රමණීය පොකුණු, රමණීය කෙත්වතු. ඕවා දැක දැක ඉන්නවා හීනෙන්. හීනෙන් නැගිට්ට හැටිය බලන කොට ඒ මොකක්වත් නෑ. අන්න ඒ වගේ මේ කාමයන් සිහිනයකටම උපමා කරලා තියෙනවා කියලා මතක තියාගන්න කියලා පෝතලිය ගෘහපතියට කිව්වා. ඔන්න ඊළඟට දෙන උපමාව. ඔන්න යම්කිසි කෙනෙක් - අපි හිතමු මඟුල් තුලා ආදී විශේෂ කටයුත්තක් සඳහා විශේෂයෙන් සැරසිලා යන්න තියෙන කෙනා මොකද කරන්නේ? පිරුවට ඉල්ලා ගන්නවා. ඇඳුම පැළදුම, වෙන එකක් තබා යාන වාහන පවා. ඒ හැම එකක්ම පිරුවට කෙනෙක් ඉල්ලා ගන්නවා, ණයට. මේ මේ අපට අහවල් දවසේ මේ විදියේ කටයුත්තක් තියෙනවා. මේක දෙන්න පුළුවන්ද? ඔය ඇඳුම දෙන්න පුළුවන්ද? සපත්තු කුට්ටම දෙන්න පුළුවන්ද? කියලා ඔහොම ඉල්ල ගන්නවා. ඉල්ලෙගෙන ඔන්න කඩ වීදියේ අර ඔක්කොගෙන්ම සැරසිලා, අර ඔක්කොම අනුන්ගෙන් ඉල්ලාගත්ත ආහාරණත් දාගෙන ඇදුම් පැළදුම්ත් ඇඳ පැළදගෙන, අර අනුන්ගෙන් ඉල්ලාගත්තු රථයේ හොඳට ඡේත්තුවට යනවා. ඔය විදියට ඒ යන අතරේ අර මනුෂ්‍යයින්, නගරේ මනුෂ්‍යයින් කියනවා, “මේත් ඉතිං ඉතාම ධනවත් කෙනෙක් වෙන්න ඕන. ඔහොම තමයි පොහොසත් අය තමන්ගේ පොහොසත්කම පෙන්නන්නේ” කියලා. බොහොම හොඳයි කියලා. එක එක අය දකින අය සතුට ප්‍රකාශ කරමින් ඉන්න අතරේ අරව දුන්න එක්කෙනා ඇවිල්ලා, ‘මේ අපට හදිසි කාරණයක් තියෙනවා. ඔය ඇඳුම් ටික අපට දෙන්න, ඔය සපත්තු කුට්ටම දෙන්න, මේ වාහනය අපට ඕන.’ කියලා ඔය විදියට අරවා එතනදීම ඉල්ලා ගන්නවා. එතකොට අර මනුෂ්‍යයාට මොකද වෙන්නෙ? තමන් අර හොඳට පොහොසතෙක් වගේ පෙනී සිටියත් ඒ ඔක්කොම ඔහුට එතනදීම නැතිවුනා. ඒ උපමාව දීලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාළා “අන්න ඒ වගේ හිතාගන්න ගෘහපතිය මේ කාමයන් ‘පිරුවට ගත්තු දෙයක් වැනියි. ඉල්ලා ගත්තු දෙයක් වැනියි.’ ඒ උපමාව. ඊළඟට දක්වන උපමාව මොකක්ද? ඔන්න ගමක් කිට්ටුව ඝන වනරොදක තියෙනවා ගහක්. අපි හිතමු - අඹ ගහක් වගේ ගෙඩි හැදෙන ගහක්. ඉතිං ඒ ගහේ ගෙඩි හොඳට හැදිලා තියෙනවා. හොඳට පළතුරු තියෙනවා. නමුත් එකක්වත් බිම වැටිලා නෑ. ඔතෙන්ට එනවා යම් කිසි කෙනෙක් අර කියාපු ගෙඩි හොයාගෙන. අපි හිතමු අඹ ගෙඩියි කියලා. ඒ අඹ සොයමින් එනවා කෙනෙක්. දකිනවා මේ ගහේ අඹ තියෙනවා. බිම එකක්වත් නෑ. නමුත් මට ගහට නගින්න පුළුවන් කියලා ගහට නගිනවා. නැගලා ගහේදීම අඹ කමින් ඔඩොක්කුවටත් පුරවා ගන්නවා අඹ ගෙඩි. ඔහොම පුරවමින් ඉන්න අතරේ තව කෙනෙක් එනවා. ඒත් අඹ සොයමින්. එයාගේ අතේ කෙටේරියක් තියෙනවා. තියුණු කෙටේරියක්. ගෙඩි මුකුත් වැටිල නැහැ. ඒ වගේම මෙයාට ගහට නගින්න තේරෙන්නෙ නෑ. ගහට නගින්න දන්නෙ නෑ. ඉතිං කල්පනා කරනවා මේ ගහේ අඹ තියෙනවා, මගේ අතේ කෙටේරිය තියෙනවා. මට ගහට නගින්න බෑ. ඉතිං කරන්නේ මට මේ ගහ කපලා ඕන හැටියට ගෙඩි අරගෙන ඔඩොක්කුවත් පුරවගෙන යන්නයි කියලා ගහ කපන්න පටන් ගන්නවා. එතකොට මොකද ගෘහපතිය හිතන්නේ? අර කලින් ගහට නැග්ග කෙනා ඉක්මණින් ගහෙන් බැස්සේ නැත්නම් මොකද වෙන්නේ? ගහ වැටෙන කොට ඒ පුද්ගලයා ගහත් එක්කම වැටිලා අතක් පයක් කැඩෙනවා. එහෙම නැත්නම් ජීවිතයම නැතිවෙලා යනවා. එහෙම නේද කියලා කිව්වහම ගහපතියා, එසේය කියලා කියනවා. ගහපතියා ඒ විදියට පිළිතුරු දෙනවා. ඔන්න ඔය විදියට උපමා හතක්ම බුදු පියාණන් වහන්සේ දැක්වා වදාළා. මේ එක එක උපමාවක ගැඹුරු අර්ථය - මේ පින්වතුන්ට පවා එදිනෙදා ජීවිතයේදී අහන්න ලැබෙන පුවත් වල, ප්‍රවෘත්ති වල, බරපතල අපරාධ සාතන දිවි හානි කර ගැනීම් ඒ හැම එකකම, මූලධර්මය මේ උපමා තුළ තියෙනවා. දැන් ඒ එක් එක් උපමාව අපි කෙටියෙන් සලකා ගත්තොත්, මෙතන පේනවා පළමුව අපි කිව්වේ අර ඇට කැබැල්ලේ උපමාව. එතන ඒ බල්ලා, ඒ විසි කළ ඇට කැබැල්ලේ යම්තම් ලේ වැකිලා තියෙන නිසා ඒක හපනවා. හපන අතරේ සමහර විට හක්කෙන් එන ලේයි ඒ ආහාරය හැටියට ගන්නෙ දන්නෙම නැතුව. ඉතිං ඒ විදියට ඒ කාමයන්ගේ හැටි එතනින් පෙන්නුම් කරන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. “අප්පස්සාදා දුඛා කාමා” කියලා කාමයන්ගේ ආස්වාද පක්ෂය ටිකයි - ආස්වාද නැතිව නෙවෙයි. ආස්වාද කියලා කියන්නෙ රස විඳීම. රස විඳීම කියලා කියන එක නැතෙයි කියලා කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඒක කිව්වා කියලා සමහර විට දොස් කියන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා, ආස්වාද පක්ෂයක් තියෙනවා. නමුත් ඒක ටිකයි. ‘බහු දූඛා’ දුක්පක්ෂය වැඩියි. ආස්වාද ටිකයි, දුක් පක්ෂය වැඩියි. ඉතිං අර බල්ලත් ඒ ලේ වැකුනු ඇට කැබැල්ලේ ලේ ටික ලෙව කෑවා. ඉතිං එතනින් නැවතුනෙ නෑ. ඊළඟට තියෙන්නේ දුක් ගොඩක්. ඒ උපමාව. ඊළඟට ඒ වගේම තමයි මාංශ පේශී උපමාව. ඒකත් ටිකක් හිතලා බලනකොට දැන් කාමයන් කියලා කියන්නෙ කැමති දේ. තමන් කැමති දේට තව කී දෙනෙක් කැමතිද? ඒතකොට ඒ තමන් කැමතිදේ අයිති කරගන්න යනකොට ඒකටම කැමති තව කී දෙනෙක් එක්ක සටන් කරන්න වෙනවද? ඔය ප්‍රවෘත්ති ඉතිං මේ පින්වතුන් එදිනෙදා ජීවිතයේ අත් දැකපු දේවල් ධනය පිළිබදව බැලුවත්, පුද්ගලයින් පිළිබදව බැලුවත්. ඒ මස් පිඬ අර එක ගිජු ලිහිණියෙක් අරගෙන අහසට නගිනවා. කීදෙනෙක් පස්සෙන් ඇවිල්ලා කොටනවද? ධනය පිළිබඳවත්, අනිත් දේවල් පිළිබඳවත් ඒ න්‍යාය තේරුම් ගන්න පුළුවන්. ඉතිං ඒ වගේම තමයි අර ගිනිහුළ පිළිබඳ උපමාව. දන්නෙම නැතිව අත දැවෙනවා. ඒකෙ අවදානම් බවයි එතන පෙන්නුම් කරන්නේ. කාමයන්ගේ අවදානම් බව. ඊළඟට ඒ වගේම අඟුරු වලේ උපමාව. ඒක ඇදිලා යනවා පුදුම විදියට. නමුත් දන්නවා තමන් විපතට පත් වෙන බව. විපතට පත්වෙන බව දන්නවා. නමුත් ඔහේ ඇදිලා යනවා, අඟුරුවලකට ඇදිලා යන්නා වගේ. රීළහට අර සිහින ස්වභාවය. එයින් පෙන්නුම් කරන්නේ කාමයන්ගේ හිස් බව, නිස්සාර බව. හීනෙන් දුටුවා හොඳ ලස්සන නොයෙකුත් විදියේ දර්ශණ. අන්තිමට නැගිට්ටට පස්සේ ඒ එකක්වත් නෑ. එකක්වත් නෑ. අවට තියෙන්නෙ අන්ධකාරය විතරයි. රාත්‍රි අන්ධකාරය විතරයි. අන්න ඒ වගේ තමයි කාමයනුත් කියලා, ඒවායේ නිස්සාර බව, හිස් බව, ශුන්‍ය බව, රවටන සුළු බව, ඒ ඔක්කොම එතනින් කියවෙනවා. ඊළඟට අර ණයට ගත්තු දේ, පිරුවට ගත්තු දේ, පිළිබඳව. ඒකත් මේ පින්වතුන්ට ඇත්ත වශයෙන්ම එදිනෙදා ජීවිතයේ අත්දකින්න ලැබෙන දේවල්. මඟුල් තුලා ආදියක් ආපුවම කී දෙනෙකුට පින්සෙන්ඩු වෙලාද ඒවා අවශ්‍ය දේවල් ලබාගන්නේ, තමන්ට ඒවට ධනය නැති වෙනකොට. එහෙම ඉල්ල ගත්තු දේ ‘කොයි වෙලාවේ මේවා ඉල්ල ගනියිද, මේවා පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් මට ගෙවන්න වෙනවා නේද, වන්දි ගෙවන්න වෙනවා නේද’ කියලා බොහොම බයෙන්. ඉතිං කොහොම හරි ඡායාරූපය ගන්න තුරු ඒ ටික පරිහරණය කරනවා, බොහොම පරිස්සමින්. ඊටකලින් ඉල්ලා ගන්න ආවොත් ඔන්න ඒතකොට ඒකත් ඉවරයි. ඔය විදියටයි දැන් මඟුල් තුලා ආදී ඒ කටයුතු. ඉතින් මේ හැම එකක් තුළින්ම අපට පේනවා, වැඩිය නිදර්ශන අවශ්‍ය නෑ. මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්, අන්න බුදු පියාණන් වහන්සේ දීපු උපමා කොයි තරම් ගැලපෙනවද කියලා. අනුන්ගෙන් ඉල්ලාගත්තු දෙයක්, ණයට ගත්තු දෙයක්, පිරුවට ගත්කු දෙයක් වගෙයි කාමයන් කියන එක. ඊළඟට අර ගහ පිළිබද උපමාව. එතන ඇත්ත වශයෙන් කියන්නෙ ගහේ ගෙඩි. ගහේ ගෙඩියි එතන උපමාවට දාල තියෙන්නේ. ගහේ ගෙඩි තියෙනවා නමුත් ඒ ගෙඩි භුක්ති විඳින්න වෙන්නේ දෙයාකාරයකට. එක් කෙනෙක් නියම ආකාරයෙන් නැගලා, නියම ආකාරයෙන් ඒ ගෙඩි භුක්ති විදින්න උත්සාහ කරනවා. එහෙම භුක්ති විඳින අතරේ අනියම් ආකාරයෙන් ගහ කපලා ගෙඩි ලබාගන්නත් තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔය දෙන්නා අතර තියෙන හටන තමයි ඔන්න ඊළඟට දැක්වෙන්නේ. ඔය විදියට කාමයන්ගේ ආදීනව ගැන බුදු පියාණන් වහන්සේ දුන්නු ඒ උපමා එදිනෙදා ජීවිතයේ තමන්ට දකින්න ලැබෙන, අහන්ට ලැබෙන, අත් දකින්න ලැබෙන සිද්ධි ආශ්‍රයෙන් මේ උපමා ගැන හිත යොදවන කොට අන්න ලොකු ගැඹුරු සසර කලකිරීමක්. සසර කලකිරීම කියන වචනයට මේ ධර්මයේ දැක්වෙන්නෙ ‘නිබ්බිදා’ කියලා. දැන් මෙතන කියවුනා ‘ආදීනව’ කියලා ආදීනව කියලා කියන්නෙ පංච කාම සම්පත්තියේ ඇති අනිෂ්ට ස්වභාවය, අනිෂ්ට විපාක. ඒවා දකින කොට කෙනෙකුට සසර කලකිරීම ඇතිවීම ස්වාභාවික දෙයක්. ඒක බය විය යුතු දෙයක් නොවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ලෝකයේ යථා තත්ත්වය කෙනෙකු දකිනවා නම් ඒ දැකීම නිසාම කෙනෙකුට ලෝකය ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. කුඩා දරුවකු කොයි තරම් ආසාවෙන් යම්කිසි ඇඳුමක් ගත්තත්, ශරීරය වැඩෙන කොට අර ඇඳුම ආරක්ෂා කර ගන්න ශරීරයේ කොටස් කපන්නෙ නැහැ නේ. එතකොට ඒ ඇඳුම ඉවත් කරනවා. ඊළඟට ඒකට ගැලපෙන ඇඳුමක් අඳිනවා. ඒ විදියේ දෙයක් තමයි මේ ගිහි ජීවිතයේ ඉදලා පැවිදි බව කරා යන ගමන. ඒක නිසා කිසිම කෙනෙකුට මේකට දොස් කියන්න බෑ ගිහි පින්වතුන්ට ආදීනව ගැන කියන්න හොඳ නෑ. හිතන්න හොඳ නෑ. ගිහි ජීවිතයේ සැප සම්පත් පිළිබදව විතරක් හිත හිතා ඉන්න ඕන කියලා එහෙම කියන්න නරකයි. මොකද, ඒක වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මය විවෘත ධර්මයක්. ඉතිං ඒක නිසා මේවා ගැන හිතනකොට ඔන්න මේ පින්වතුන්ට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒ තුළින් දකින්න පුළුවන් වෙනවා. විදර්ශනාව කියන්නෙ එතන තමන් අත්දකින දෙයක්. විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවන බව අප දන්නවා. ඒක නිසා ඒ දැකීමට නම් අන්න තමන්ගේ අත් දැකීම හා අවට දකින්ට ලැබෙන නිදර්ශන ආශයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ වචනය කොයි තරම් සත්‍යද කියලා මෙනෙහි කරන්ට ඕන. ඒ මෙනෙහි කරනකොට තමයි ඇතුළතින් තේරෙන්නෙ මෙච්චර කාලයක් කලේ මේ මෝඩකම නේද? අන්න අර බුදු පියාණන් වහන්සේ අසපු ප්‍රශ්නය එතන. අපි අර කිව්වේ, මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් කළේ අන්න අර සංසාරය වඩන එක. ඒකට තමයි අපි අර වෙන අවස්ථාවල ප්‍රකාශ කලේ, ලෝක වර්ධන ශුසාන වර්ධන ප්‍රතිපත්තියේ ගමන් කිරීම කියලා. ලෝක වර්ධනයක් වෙන්න එපා. සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා අපි ප්‍රකාශ කරන්නෙ එකයි. මෙතෙක් කලේ ලෝකයන් වැඩුවා. සොහොන් වැඩුවා. ඇට සැකිලි වැඩුවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා, ලෝකයෙන් එතෙර වීම. මේ පංචස්කන්ධ ලෝකයෙන් එතෙර වීම. මේක දුකක් බව. එතකොට අන්න ඒ ටිකයි ඊළඟට අර ගාථාවේ කියවෙන්නේ. ගාථාව ඉතාම සරල එකක්. නමුත් ඉතාම ගැඹුරු අර්ථ රාශියක් එතන කියවෙනවා. ‘දිස්වා ආදීනවං ලෝකෙ’ - ලෝකයේ ආදීනව පක්ෂය දැකලා, ‘ඤත්වා ධර්මමං නිරූපධිං’ - ‘නිරූපධි’ කියලා එතන ඒ වචනය යොදලා තියෙන්නේ නිවනටයි. ටිකක් ගැඹුරු වචනයක්. තේරෙන මට්ටමකින් කිව්වොත් උපධි කියලා කියන්නෙ කෙනෙකුගේ මමත්වය රඳාපවතින වස්තු ආදියට. එදිනෙදා ජීවිතයේ උපධි කියන එක බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නෙ - ඔන්න අපි හිතමු දරුවන් ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. එක්තරා අවස්ථාවක මාරයා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අභියෝගයක් ඉදිරිපත් කලා. පුත්‍රයන් ඇති කෙනා පුත්‍රයන් නිසා සතුටු වෙනවා. ගවයන් ඇති කෙනා තමන්ගේ ගව රැල ගැන හිතලා සතුටු වෙනවා. එහෙම ප්‍රකාශ කරලා කියනවා. අන්න අර කියාපු උපධි වස්තු ආදිය, තැන්පතු ආදිය, දැන් මේ කාලේ වචනෙන් කීවොත් තැන්පතු වස්තු ඒ හැම එකක්ම උපධි නමින් හඳුන්වෙනවා. එතකොට අර සචේතනික හෝ අචේතනික වස්තු සම්භාරයම තමයි උපධි හැටියට සලකන්නේ. ඒවා නැති කෙනා සතුටු වෙන්නෙ නෑ කියලයි මාරයා කියන්නෙ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකම අතිත් පැත්තට හරවලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කලා ‘සොවති පුත්තෙහි පුත්තිමා’ දරුවන් ඇති කෙනා දරුවන් නිසා ශෝක වෙනවා. අන්තිමට දුකට පත්වෙනවා. දරුවන් සළකන්නේ නැති වුනහම, දරුවන් මරුවන් බවට පත්වුනහම, එක්කො දරුවන් අකාලයේ මිය ගියහම ඔන්න ඒතකොට ශෝකයට පත්වෙනවා. ඉතිං ඒ වගේම ගවරැල. ගවරැලට කරදරයක් වුනහම, විනාශයක් වුනහම ඒකට තැවෙනවා. ඒ විදියට ගවරැල හැටියට මෙතන දක්වලා තියෙන්නේ අර කියාපු වස්තු සම්භාරය, තැන්පතු. ඉතිං ඔය ඔක්කොම දුකක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ. ඒක නිසා ‘උපධි හි නරස්ස සොවනා’ - ‘න හි සො සොවති යො නිරූපධි’ ඒ උපධීන් නැති කෙනා තමයි ශෝකයට පත් නොවෙන්නේ කියලා. අන්න එතන කියාපු උපධි සංකල්පය අනුවයි අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ නිවනට නිරූපධි කිව්වේ මොකද කියලා. නිරූපධි කියලා කියන්නෙ අන්තිම පරිච්ඡේදයෙන්, අවසාන වශයෙන්, බලන කොට අපි මේ සංසාරයේ කරලා තියෙන්නේ උපධි ගොඩ ගසා ගැනීමක්. තැන්පතු ගොඩගසා ගැනීමක්. ඔය වස්තු ඉඩකඩම් ධන ධාන්‍යාදිය පමණක් නොවෙයි ගැඹුරින්ම කල්පනා කරලා බලනකොට එකතු කරගත්තු උපධි තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා කියන මේ පඤ්චුපාදානස්කන්ධ කියලා කියන ඒව. උපාදාන කියන වචනයක් තිබෙනවා. උපාදාන කියන්නේ අල්ල ගන්නවා, එල්ලෙනවා කියන එක. යමක එල්ලිලා ඉන්නවා එහෙම නැත්නම් අල්ලගෙන ඉන්නවා. උපදි කියලා කියන්නෙ යමක් මත සිටිනවා. ඒ දෙකම බොහෝ විට එක සමාන දෙයක්ම වෙන්න පුළුවන්. ඒක දෙපැත්තකින් ඒ කාරණය දිහා බැලීමක්. යමක් එල්ලී සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තුවෙන්. යමක් මත රඳා සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තුවෙන්. ඉතිං අර රූප වේදනාදි පඤ්චස්කන්ධයෙ තණ්හාව නිසා එල්ලිලා සිටින කියන අදහසින් තමයි පඤ්චුපාදානස්කන්ධ කියලා කියන්නේ. උපාදාන ගොඩක්, උපාදාන ගොඩවල් පහක්. ඒවම හඳුන්වන්න පුළුවන් උපධි හැටියට. මොකද ඒවා ‘මේ මගේ රූපයයි’ ‘මේ මගේ වේදනාවයි.’ ආදී වශයෙන් මමත්වයක් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගන්න කොට ඔන්න ඒක උපධි වෙනවා. ඉතිං ඒවයින් මිදුනු අවස්ථාව ‘සබ්බුපදි පටිනිස්සග’. සබ්බුපදි පටිනිස්සගග කියන වචනයක් යොදනවා නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. සියලුම උපදීන් අතහැර දැමීම කියන කොට දැන් අර ගෘහපතියා කළා වගේ තමන්ගේ වස්තුව දූ දරුවන්ට පවරලා දීලා ඒ කර්මාන්ත වලින් ව්‍යාපාර වලින් ඉවත්වුණු පමණට ‘නිරූපධි’ වෙන්නේ නෑ. මේ හිතේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන මෙතෙක් සංසාරේ ගොඩගසාගෙන ආපු මේ පංචස්කන්ධයත් අතහරින්න වෙනවා. ඒක අතහරින්න වෙන්නෙ අර කියාපු මාර්ගඵල අවස්ථාවේදියි. ක්‍රම ක්‍රමයෙන් විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුළින් මේ රූප වේදනා ආදියෙහි අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, ශුන්‍ය ස්වභාවය, හිස් බව, මේක හරි හැටි තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවේදී ඉබේටම ගිලිහෙනවා. එපා කමක් ඇතිවෙනවා. එපා කමක් ඇතිවෙලා අර තමන්ගේ කරේ හදිස්සියේ එල්ලපු මළකුණක් වගේ මේක තල්ලුවෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි අන්න මාර්ගඵල ප්‍රත්‍යක්ෂය ලැබෙන්නෙ, ඕකටයි නිවන කියන්නෙ. ඒක තමයි ලෝකම සැනසීම කියලා කියන්නේ. බර බිම තැබුවා කියලා කියන්නෙ ඕකටයි - පංචස්කන්ධ භාරය බිම තැබුවා කියලා කියන්නේ. ඔන්න ඔය නිවන කරා යන ගමනයි, මේ පින්වතුන් අද දවසේ මේ ශීල සමාදාන ආදියෙන්, ධර්ම ශ්‍රවණ ආදියෙන් මේ කරන්නෙ. ඉතිං කල්පනා කරන්න ඕන අද මේ ධර්ම දේශනාව අපි සාමාන්‍යයෙන් - ඒක බුද්ධ දේශනාවට අදාළ දෙයක් - සරල අන්දමින් පටන් ගත්තට සමහර විට ක්‍රම ක්‍රමයෙන් මේක ගැඹුරු වෙනවා. ඒ හැම එකක් ගැනම මේ පින්වතුන් කල්පනා කරලා තමන්ගේ පරමාර්ථයට ගැලපෙන ආකාරයට මේ අපි දේශනා කරන කාරණා තමන්ගේ ජීවිතයට ළංකරගෙන හැකි තාක් ඉක්මණින් මේ ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සංසාර දුකින් අත්මිදිලා, අර කියාපු ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් මිදිලා, මේ ලෝකය කෙළවර කරන, ලෝකයෙන් එතර වෙන, ඒ ලෝකෝත්තරවූ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ උතුම් නිර්වාණාමෘතය ලබාගැනීමට - සෝවාන්, සකදාගාමී අනාගාමී, අර්හත් කියන මාගීඵල ප්‍රතිවේධයෙන් ඒ උතුම් නිර්වාණ නිරූපධි තත්ත්වය ලබා ගැනීමට - මේ අද දින රකින ලද ශීලය, කරන ලද භාවනාව, මේ අසන ලද සද්ධර්මය හේතු වාසනා වේවා, උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගන්න. දැන් එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරය ඒ තම තමන් නමින් නෑසී මිය පරලොව ගියාවු යම්තාක් ඥාතීන් වෙත්නම් ඒ ඥාතීනුත් ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම රාජ්‍යාණන් වහන්සේලා ඇතුළ සමස්ත දෘෂ්ටික දෙවි දෙවතාවුනුත් අනුමෝදන් වී අවීචියේ සිට අකනිටා දක්වා වූ සියලු සත්ත්වයින් අනුමෝදන් වී හැකිතාක් ඉක්මණින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්න. ‘එත්තාවනා ච අම්හේහි…………..’